Skip to main content

විනයක් නැතිකමත් ඇණයක්


මේ ඉන්නෙ මං කියන විදිහෙ හදිස්සිකාරයෝ දෙන්නෙක්! (Image Source: cdn.merchantmaverick.com)

ඉස්සර කඩේකට ගිහින් බඩුවක් ගද්දි වෙලාවකට මාර පරිප්පුවක් තමා කන්ඩ වෙන්නේ. කඩේ මුදලාලිට හරි කඩේ ඉන්න කොළුවට හරි ඕන බඩු ටික කිව්වම උන් හිතේ හැටියට ඒවා හොයනවා. කොහොම කොහොම හරි බඩු ටික එක්කහු කරගත්තම ආයෙත් පාරක් චෙක් කරලයි බඩු ටිකත් දෙන්නෙ. කොහොම හරි බඩු ටික අරන් ඉවර වෙද්දි විනාඩි විස්සක් තිහක් ගිහිල්ලා. 

ඔන්න ඔහොම වාත වෙවී ඉද්දි තමා ලංකාවට සුපර්මාර්කට් ආවේ.සුපර්මාර්කට් එකේ අපිට ඕන බඩු ටික කරත්තෙට දාගෙන ආවම, ලස්සනට ඇදල ඉන්න කැෂියර් නංගි (හෝ අක්කා) කැෂියර් එකෙන් ටකස් ගාලා බිල දාලා දෙනවා. වැඩේ හරි පහසුයි. පහසුවටත් වඩා ඔව්වට මිනිස්සු යන්නේ ආතල් එකට කියලයි ජෙහාන් ලොක්කනං කියන්නෙ (ග්‍රීස්මේ ඉවසගන්න බැරිව ඒ.සී. එක හොයන් එන අයත් නැතුවම නෙවේ). මට හිතෙන්නෙ නං ආතල් එක ද්වීතීකයි කියලයි.  මිනිස්සුන්ට වෙන ලේසිය ගැන හිතලමද කොහෙද ටික කාලයක් ගියාට පස්සේ ඔව්වයින්ම බිල් ගෙවන්නත් අවස්ථාව දුන්නා. අන්තිමට, කඩේ බඩු ගත්ත ඈයොන්ට වඩා බිල් ගෙවන උදවිය වැඩිඋනා!කොහොම හරි මං කියන්න හැදුවේ සුපර්මාර්කට් එකේ කැෂියර් පෝලිම සෑහෙන්න දිගයි ඕං.

අන්තිමේ නිකං කඩෙන් බඩුගන්න වෙලායනවා කියලා සුපර්මාර්කට් ගියපු උදවිය සුපර්මාර්කට් පෝලිමේ විතරක් විනාඩි දහයක් විතර ඉන්නවා. (ඇත්තටම හිතුවොත් ලොකු කඩේක වෙනස් විදිහෙ බඩු දෙකතුනක් ගන්න සෑහෙන්න ඇවිදින්නත් ඕන. පරණ කඩේකට ගියානං ඒක කරන්නෙත් කඩ්‍ෙ මෑන්-නේ) දැන් මේක ලොකු අව්ලක්. ඔය අව්ල ලංකාවට විතරක් නෙවේ ඇමරිකාවටත් දැනුනා (අනික් රටවල් වලටත් දැනෙන්න ඇති අනිවා). අනෙක පිටරට වල තියෙන්නෙත් මහ විසාල සුපර්මාර්කට්. ඔය වෝල්මාට්, ටාගට් වගේ එකක් ගත්තම නිකං ෆැක්ටරියක් තරම් ලොකුයි. අනික ඇදුම් වල ඉදන්, කෑම බඩු, ගෘහභාණ්ඩ, බෙහෙත් එකී මෙකී නොකී හැම අටමගලයක්ම මේ තැන්වලින් ගන්න පුළුවන්. එතිං ඔව්වට යන අය එලියට එන්නේ කරත්ත පුරවන්. එක කරත්තෙක බඩු ටිකට බිලක් දාන්නම සෑහෙන්න වෙලාවක් යනවා.කැෂියර්ලා ගානත් සීමිත හින්දා බඩු අරන් එළියට යද්දි අනිවාර්යෙන් හැම පෝලිමකම ඔය තඩි කරත්තකාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවාමයි. ඒ හින්දා බඩුවක් දෙකක් ගන්න කඩේට යන මිනිස්සුන්ට හරි ප්‍රශ්නේ. ගත්තෙ බඩුවක් දෙකක් උනාට අර පෝලිමේම ඉන්ඩ එපැයි! 

ඕකට විසදුමක් විදිහට සුපර්මාර්කට් කාරයෝ විසදුමක් ගෙනාවා. කැෂියර් පෝලම් දෙක තුනක් වෙන් කරා “බඩු විස්සකට අඩුවෙන්” ගත්ත අයට. අදහස නං හොදයි තමා - හැබැයි ප්‍රශ්නෙ විසදුනේ නෑ. ඒ අස්සෙ අර අළුතින් දාපු පෝලිම තවත් දිග වැඩියි.ඔන්න ඔතනදි තමා සුපර්මාර්කට්කාරයාට ගණදෙවි නුවණ පහල උනේ. මනුස්සයා කඩේ පැත්තකින් හයිකරා කැෂියර් මැෂින් දෙක තුනක් - හැබැයි කැෂියර්ලා නැතුව. හදිස්සිකාරයෝ ඉන්නවනං ගිහින් තමන්ම බඩු ස්කෑන්කරලා බිල ගෙවලා යන්නැහැකි (ඕකට සිංහලෙන් කියන්නෙ self checkout කියලා). දැනුත් අර කලින් කිව්ව ප්‍රශ්නෙ නැතුවම නෙවේ. හැබැයි කලින්ට වඩා අඩුයි. ඇත්තටම ඔය කියන අළුත් තැන වැඩිය සෙනගත් නෑ කියලයි කියන්නේ.

දැන් තමා කතාවේ වැදගත් හරිය. අහන්න දෙයක් නෑ - මේ වගේ වැඩක් ලංකාවේ කීයයි කිව්වත් කරන්න බැරි බව කට්ටියම දන්නවනෙ. පොඩි සිදුරක් තිබ්බත් ඇති අපේ අයියලාට රිංගන්න. සෙල්ෆ් චෙකවුට් දැම්මොත් ඔය කඩ බංකොලොත්වෙලයි නවතින්නෙ. කෝමහරි මම කියන්න හැදුවේ පොඩි දෙයක්. අපේ විනයක් නැතිකම හින්දා ගොඩක් ප්‍රශ්න වලට දෙන්න පුළුවන් සරල-ප්‍රායෝගික විසදුම්  දීගන්න බැරිව ගිහින් තියෙනවා නේද? ලංකාවේනං සුපර්මාර්කට්කාරයට සිද්ද වෙනවා කැෂියර් කෙනෙක් එක්කම කැෂියර් එකක් දාන්න. එතකොට ඒ අමතර වියදමත් ආපහු බඩුගන්න මිනිහ උඩටමයි වැටෙන්නේ! එහෙම කරේ නැත්තං වැඩි වෙලාවක් බඩුඅරන්යන්න ආපු මිනිහට කඩේ ඉන්න වෙනවා. කොහොම බැලුවත් බඩුගන්න මිනිහටමයි පාඩු! 

අපි කෙටි පාරක්, හොරයක් කරන හැම වෙලාවෙම ඒ වෙනුවෙන් වෙන මිනිහෙක් වන්දි ගෙවන්න එපැයි. එහෙමයි කියලා අපි කරන එව්වා නවත්තනවද? නෑ-නේ! මාකට් එකේ ටොයිලට් එකට ගිහින් කම්මැලිකමට වතුර එකක් ගහන්නෑ - ඊට පස්සෙ එනමිනිහටයි පාඩු. මුදලාලි බලන්නැති අතරෙ කඩේ තියන දෙයක් අතපත ගා ගන්නවා - මුදලාලිටයි පාඩු. වාහන පෝලිමක් තියෙද්දි දකුණෙන් ඉස්සරහ කරන් ගිහින් අතරින් රිංගවනවා - පෝලිමේ ඉන්න මිනිහටනේ පාඩු. ගෙවල් හදන්න කියලා කැලෑ ටික එලිකරලා දානවා - කාටවත් පාඩු නෑ!.  ඔය වගේ දේවල් දාහක් කියතැහැකි. හැබැයි මම හිතන්නෙ වෙන දෙයක්. ඔව් ඒ මොහොතට ඔය කරන වැඩෙන් අපිට පාඩුවක් නෑ වගේ හිතුනට දීර්ඝකාලීනව අපි හැමෝටම පාඩුවක් තියෙනවා. 

දැන් කැලෑ එලිකිරීම ගත්තම ඕක වෙනහැටි හැමෝටම තේරෙනවනේ. මම කියන්නෙ ඒක නෙවේ. විනයක් නෑ කියන දේ සාමාන්‍යය උනාම රටේ පහසුවෙන් කරන්න පුළුවන් හොද වෙනස්කම් කරන එක අමාරුවෙනවා - ඒවා තව කල්යනවා.  මිනිස්සුන්ට පහසුව සපයන්න පුළුවන් සරල දේවල් ක්‍රියාත්මක නොකරම යටගහගන්න සිද්ද වෙනවා. ඒකෙන් වෙන්නෙ අපි ජීවත්වන සමාජෙ ජීවත්වීම පහසුවෙන එක මන්දගාමී වෙන එක විතරයි නේද? ඒක අන්තිමේ හැමෝටම පාඩුවක්! මම පොඩි උදාහරණයක් දෙන්නම්. දුරගමන් යන කෝච්චි වල පොතක්, කෑම පිගානක් තියන්න පුළුවන් පොඩි ට්‍රෙ එකක් තියෙනවා. මේක ඇත්තටම සෑහෙන්න පහසුවක් දිග ගමනක් යද්දි. දැන් ඔව ට්‍රේ තියෙන කෝච්චි ලංකාවටත් ගෙනාවා. ඔය ට්‍රේ එක උඩ ලංකාව් මිනිස්සු නොකරපු දෙයක් නෑ! අන්තිමේ එක්කෝ ට්‍රේ ටික ගැලැව්වෙ, නැත්තං එව්ව තියෙන පෙට්ටි ගේන එක නැවැත්තුවා. අන්තිමේ හැමෝටම නෑ. මේ හේතුව හින්දම ස්වයංක්‍රීයව කරන්න පුළුවන් ගොඩක්දේවල් ලංකාවේ තාමත් මිනිස්සු දාලා කරනවා කියලයි මට හිතෙන්නෙ. උදාහරණෙකට ගන්නකෝ චන්දෙ දාන එකම. ලංකාවේ චන්ද දවස කියන්නෙ කොච්චර ජරමරයක්ද? ඕක ඊට ගොඩක් පහසුවෙන් යන්ත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන්නෙ 21 වෙනි සියවසේ! ඔව්ව කොහෙද අපේ අයියලත් එක්ක?

දැන් ඔය අපේ නැති විනය සුද්දගේ තියෙන්නෙ කොහොමද? මේ ගැන හරි උත්තරයක් මට නැතිඋනත් ඒගැන කියන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ඊට කලින් ඒ ගැන  මේක කියවන උදවිය මොකද හිතන්නෙ කියලා දැනගන්න ආසයි. එහෙනන් පහලින් කොටන් යමුද?

Comments

Popular posts from this blog

බයි ටොයි ගැටුම සුරකිමු!

පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්මා නම් කිරීමත් එක්ක විපක්ෂය කැළඹීමට පත්ව ඇතිබවක් පේනවා. ඒ අතර ගෝඨාභය හා තරඟ කරන්න "දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්" දමන බව එජාපයේ රංජන් රාමනායක මහතා කියලා තියෙනවා. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් කියලා මේ කෙකර ගගා කියන්නෙ සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වයට නම්කරන්න උත්සාහ කරන බවයි. සජිත් ගෝඨාභයට තරඟයක් දෙන්න පුළුවන් බව හිතෙන්නෙ සජිත්ට ගෝඨාභයට සමාන ඡන්ද පදනමක් ඇති හින්දයි. මේ පදනම ග්‍රාමීය, අර්ධ ග්‍රාමීය සිංහල බෞද්ධ පදනමයි. ජනප්‍රිය අපේක්ෂකයෙක්ට සමාන පදනමක් ඇති වෙනත් අපේක්ෂකයෙක් නම් කරන්න එජාපය උත්සාහ කරන මුල් අවස්ථාව මෙය නෙවේ. මීට කලින් සරත් ෆොන්සේකා මහත්මා ඉදිරිපත් කරමින් කලෙත් මේ හා සමාන දෙයකුයි. මේ උපාය හින්දා කෙටිකාලීනව හෝ දිගුකාලීනව රටට හෝ එජාපයට සෙතක් නොවන බව මගේ අදහසයි. මේ වෙලාවේ ගෝඨාභයට ලොකු ඉල්ලුමක් රටේ ඇති බව ඇත්තක්. මේ ඉල්ලීම කරන්නෙ බහුතරයක් සිංහල-බෞද්ධ, ත්‍රස්තවාදයට සංවේදී, නාගරික ලස්සන ගැන සංවේදී, හොඳින් හෝ නරකින් රට ලස්සන කලයුතුයි හිතන ජනයා. ගෝඨාභය නියෝජනය කරන්නෙ මේ ඉල්ලීමයි. මේ ප්‍රවාහයට ලඟින්ම තැබිය හැකි අපේක්ෂකයා සජිත් (පාඨලීත් හොඳ ය

සකර්බර්ග් අයිය්‍ෙ, කීයක් හරි දියන්!

අද අප්‍ෙ කතාවේ කතානායකයන්ගෙන් එක්කෙනෙක් වෙච්ච අපේ හිතාදර සකර්බර්ග් අයියා (වමේ). Source: vox.com අද ලෝකෙ සමාගමකට සල්ලි වලට ගන්න අමාරුම දේ මොකක්ද කියල ඇහුවොත් මොකක් කියලද හිතන්නේ? අමුද්‍රව්‍ය? නිදහසේ භාණ්ඩ එහා මෙහා යන ලෝකෙ, සල්ලි තියෙනවනං අමුද්‍රව්‍ය කියන්නෙ ලොකු ප්‍රශ්ණයක් නෙවේ; මිනිස් ශ්‍රමය උනත් එහෙමයි. මට හිතෙන හැටියට සමාගමකට සල්ලි දීලා ගන්න අද අමාරු එකම දේ ‘තොරතුරුයි’. කෙනෙක්ට හිතෙන්න පුළුවන් තොරතුරු උනත් සල්ලි දීලා ගන්න පුළුවන්නෙ කියලා. ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියනවා. හැබැයි සල්ලි තිබ්බ පලියට ඕනම තොරතුරක් සල්ලි වලට ගන්න බෑ. සල්ලි දීලා ගන්න පුළුවන් නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු විතරයි. උදාහරණෙකට, ලංකාවෙ තියෙන මහාමාර්ග වල දිග කියන්නෙ තොරතුරක්; ලංකාවෙ කොටස් මිල දර්ශකයේ අගය කියන්නෙ තොරතුරක්. හැබැයි මේවා නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු. ඕන කෙනෙක්ට ඇවිත් බලල මැනලා ඒ දේවල් දැනගන්න පුළුවන් බාධාවක් නැතිව. සල්ලි තියෙන කෙනෙක්ට පුළුවන් කාටහරි සල්ලි දීලා මේ තොරතුරු ලබාගන්න. එතකොට සල්ලි වලට ගන්න බැරි/අමාරු තොරතුරු මොනවද? එහෙම ඒවා ගොඩක් තිබ්බට අද මම කතාකරන්නෙ ඒවා අතරින් ගන්න