Skip to main content

ජාතික කොඩියෙන් කැරලිකරුවන් සැමරීම

අද* ඇමරිකාවේ නිවාඩු දවසක්. ලංකාව වගේ මාසකෙට නිවාඩු තුන හතරක් නැති ඇමරිකාවේ නිවාඩු දිනයක් නම් වෙන්නෙ සුවිශේෂි හේතුවකට. අද නිවාඩු දිනේ යුද්ධයෙන් මියගියපු සොල්දාදුවන් සිහිකිරීම වෙනුවෙන්. ඇමරිකාවේ සොල්දාදුවෙක් කිව්වම අපිට මතක් වෙන්නේ කොරියාවේ, ඉරාකයේ හරි ඇෆ්ගන්ස්ථානේ හරි ආක්‍රමණයක් කරපු සොල්දාදුවෙක්ව. හැබැයි ඇත්තටම මේ නිවාඩු දිනේ අවුරුදු ගාණක් පරණ නිවාඩුවක්. මුල්වරට මේ දිනේ සමරල තියෙන්නේ 1861 දී - ඒ සැමරුම ඇමරිකන් සිවිල් යුද්ධය වෙනුවෙන්. අද මං කට්ටිය‍ට ඇමරිකන් සිවිල් යුද්දෙ ගැන පොඩි විස්තරයක් දෙන්නයි හදන්නෙ. ඕක ගැන දන්න කෙනෙක් ඉන්නවනං පල්ලෙහා විස්තරේ කියවන්නැතුව අන්තිම ඡේදෙට යන්න තරහා නැතුව!


මේ තියෙන්නේ ආර්ලින්ග්ටන් නුවර තියෙන කොන්ෆෙඩරේට් සොහොනක්. මැයි 28 සැමරුම වෙනුවෙනුයි ඇමරිකන් කොඩි ගහල තියෙන්නේ (Image Source: familylocket.com).



සිවිල් යුද්දෙ කිව්වට ඇත්තටම ඇමරිකාවෙ සිවිල් යුද්ද දෙකක්ම වෙලා තියෙනවා. කට්ටියම දන්නවනෙ ඇමරිකාවෙ මුලින් හිටියේ ස්වෙද්ශිකයන් කියලා. 1492දි කොලොම්බස් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට ගොඩබැස්සට පස්සෙ තමා ඇමරිකාව කියලා අයිටම් එකක් තියෙනවා කියල සුද්දො දැනගත්තෙත්. කොහොම හරි කතාවෙන් කතාව මේ බව දැනගෙන, එක එක ජාතියේ සුද්දො ඇමරිකාවේ තැන් තැන් වල ජනපද හදන් පදිංචි උනා. ඔහොම පදිංචි වෙලා ටික දවසක් යද්දි පදිංචි වෙච්චි ජනපද එකිනෙකා ඇනකොටාගන්න පටන්ගන්නවා.  ඔය ඇණකොටාගැනීම් වලින් අන්තිමේ දිනන්නෙ ඇණෙකාටාගන්න නම්දරාපු එංගලන්තකාරයෝ ටික. කොහොමහරි, ඇමරිකාවට ආපු මිනිස්සු ටිකනං හරි උත්සහවන්තයො (නැත්තන් ඔච්චර දුරක් ගෙවන් එයිද?). මේ මිනිස්සු සෑහෙන්න මහන්සිවෙලා වගාවන් කර්මාන්ත සෑහෙන්න දියුණු කරගන්නවා. පලදාව සරුයි. දැන් මේ සෙට් එක ඇමරිකාවෙ උන්නට එයාලගෙ රජ්ජුරුවෝ එංගලන්තෙ රජ්ජුරුවොමයි.  ඇමරිකාවේ කට්ටියගෙ වැඩකිඩ දැක්කම එංගලන්තෙ රජා (තුන් වන ජෝජ්) හිතනවා අළුතින් බද්දක් දෙකක් දැම්මනං ඇමරිකාවෙන් හොද ආදායමක් ගන්න පුළුවන් විත්තිය (මෙව්ව අහද්දි මට නං මතක් වෙන්නෙම අපේ උත්තම හිටපු මුදල් ඇමතිතුමා). ඒ හින්දා ඇමරිකන්කාරෙයාන්ගෙන් අහන්නෙ නැතුව රජතුමා අළුතින් බදුටිකක් ගහනවා 1765 මුද්දර පනතින්.

මේක දැනගත්ත ඇමරිකන්කාරයෝ ටික කුපිත වෙනවා. ඔන්න ඔතින්න තමා එංගලන්තෙට විරුද්ධව කැරලි ගහන්න පටන් ගන්නෙ. දැන් මොනාද මෙයාලගෙ ඉල්ලීම්? - ස්වපාලනය (ඒ කිව්වෙ ඇමරිකාවෙ ඉන්න අය පාලනය කරන්න ඕන ඇමරිකාවේ ඉන්න මිනිස්සුයි කියන එක), සාධාරණ වෙළදාම සහ ප්‍රජාතන්ත්‍රවාදය. කොටින්ම කිව්වොත් රජතුමාට ඕන ඕන විදිහට ඒකාධිපති තීරණ ගන්නවට විරුද්ධවයි සටන පටන්ගත්තෙ (ලොකේ අනික් රටවල් ඒකාධිපති රජවරුන්ගෙන මිදුනෙ සෑහෙන සටනක් දීලා. ඒකට අපේ අය හිතනව රජෙක් හිටියනං ෂෝයි කියලා. ලංකාවේ අපි හරි වෙනස්-නේ!). කොහොමෙන් හරි සෑහෙන සටනකින් පස්සෙ ඇමරිකන්කාරයෝටික දිනනවා. මේක තමා ඇමරිකන් විප්ලවය කියන්නේ. ඕකෙන් පස්සේ ඇමරිකන් ව්‍යවස්ථාවක් හදලා නිදහස ප්‍රකාශයට පත් කරපු දවස (ජූලි 4) තමා මෙහෙ අය නිදහස කියලා සමරන්නෙ. දැන් මට කියන්න ඕන උනේ මෙච්චරයි. ඇමරිකාව නිදහස ගත්තෙ සිවිල් යුද්ධෙකින්. ඇත්තටම නීත්‍යානුකූල රජාට එරෙහිව ගහපු කැරැල්ලක්නෙ මේක. ඒක දිනපු හින්දා හොදට සමරනවා කට්ටිය. බැරිවෙලාවත් ඕක පැරදුනානං මොකෝ වෙන්නේ? ඕක ගැන එච්චර හිත හිත ඉන්න දෙයක් නෑ. අසාර්ථක වෙච්ච කැරැල්ලක් ඇමරිකාවෙන්ම තියෙනවා. අපි බලමුකො ඒකෙ විස්තරේ.

දැන් මේ විදිහට හදපු ආණ්ඩුව ෆෙඩරල් ආණ්ඩුවක්. ඇමරිකාවේ පදිංචි කාරයෝ ටික හදාගනිපු ජනපද තිබ්බනෙ. මේ ජනපද එක්කහු කරන් තමා ඇමරිකාව කියන රාජ්‍ය හදන්නෙ. එතකොට අර මුල් ජනපද වලට පොඩි පොඩි බලතල ටිකක් දුන්නා. අනික් හරිය මධ්‍යම රජයෙන් කරා. දැන් මේ කට්ටියම කිරියි පැණියි වගේ හිටියා කාලයක්. ඔහොම යද්දි රැඩිකල් අදහස් ටිකක් තියෙන විසේකාරයෝ වගයක් කඩාපාත්වෙලා හොදට තිබ්බ මෙව්වා එක විනාස කරලා දැම්මා. 1860දී ඔයවිදිහෙ විසේකාරයක් වෙච්චි ඒබ්‍රහම් ලින්කන් මහත්තයා කියනවා වහල්සේවය තියෙන එක අවුල්ය - ඒක නැතිකරන්න ඕනය කියලා. එහෙම කියලා මිනිස්සුන්ගෙන් ජනවරමක් ඉල්ලලා චන්දෙට ඉදිරිපත් වෙනවා. කොහොමෙන් හරි මිනිස්සුත් බහුතරයක් මේකට කැමැත්ත පලකරලා ලින්කන් චන්දෙන් දිනනවා. දැන් ඒ කාලේ ඇමරිකාවේ හිටියේ යතාවාදී තතාකාරී නායකයෝනෙ - කිව්වොත් කරා (අපේ උන්දැල වගේ එහෙම නෙවේ). ඉතිං ලින්කන් දින්න කියලා දැනගත්ත විතරයි දකුණෙ හිටපු මිනිස්සු ටිකට තරු විසික්ක උනා.

මේ ටික කියන්න අමතක උනානෙ. ඇමරිකාවෙ දකුණු ජනපද (මේ කියන්නෙ දකුණු ඇමරිකාව ගැන එහෙම නෙවේ) වගාවන් වලට නමගිය පලාත්. හැබැයි පලාතේ නමගියාට හමගියේ ඔය වතුවල හිටපු වහල්ලුන්ගෙ. මේ පලාත්වලට ලාභදායි විදිහට වගාවන් පවත්වගන්න පුළුවන් උනේ ගොඩක් අඩුවියදමකින් වැඩ කරගන්න වහල්ලු හිටපු හන්දයි. දැන් වහල් සේවය තහනම් කලොත් දකුණු පලාත්වල්වල බලවතුන්ට සෑහෙන්න පාඩුයි. ඒ හින්දා දකුණුකාරයෝ ටික මෙහෙම කතාවක් කිව්වා “ඇමරිකාවේ බහුතරයක් වහල්සේවෙ එපා කිව්වට - අපේ පළාත්වල එහෙම කිව්වෙ නෑනෙ. ඒ හින්දා ඔය වැඩේට අපි විරුද්දයි” කියලා. ඔහොම කියලා දකුණු ප්‍රාන්ත 8ක් මුලින් වෙනම රටක් ප්‍රකාශයට පත් කරනවා (මේකට තමා කොන්ෆෙඩරේෂනය කියලා කියන්නෙ).  පස්සේ මේක ප්‍රාන්ත 11ක් බවට පත්වෙනවා. දැන් කොන්ෆෙඩරේෂනයට එරෙහිව ඇමරිකාව (ඕකට තමා යුනියන් එක කියලා කියන්නෙත්) යුද්ධ ප්‍රකාශ කරනවා. එතනින් පස්සේ උතුරත්-දකුණත් අතර සෑහෙන දරුණු යුද්ධයක් යනවා අවුරුදු ගාණක් තිස්සේ. අන්තිමේ යුද්ධෙ ඉවරවෙනවා ඇමරිකාවට ජයක් අත්කරල දීලා. සිවිල් යුද්ධෙන් විප්ලවකාරයෝ ටික පැරදෙනවා.

විප්ලවකාරයෝ ටික යටත් උනාට පස්සෙ සාමාන්‍ය සෙබලුන්ට ආයෙ ගම්බිම් බලා යන්න අවසර ලැබෙනවා. හැබැයි වහලුන්ට එරෙහිව තිබ්බ මතය සම්පූර්ණයෙන් නැතිවුනේ නෑ. දකුණු පලාත්වල සුද්දො හොරෙන් කළු මිනිස්සුන්ට හිරිහැරත් කරලා තියනෙවා K.K.K. වගේ සංවිධාන හරහා (ෂර්ලොක් හෝම්ස් කතා කියවපු අයනං අහලා තියෙනවා මේ ගැන). හැබැයි පුදුමෙ කියන්නෙ මේකයි- යුද්ධෙදි මියගියපු මිනිස්සු සමරන සැමරුම් දිනයේ අදටත් කොන්ෆෙඩරේෂන් සොල්දාදුවන්වත් සමරනවා! මේ සොල්දාදුවන්ගේ සොහොන් කොත් උඩ ඇමරිකන් කොඩියම ගහලයි ඒ
සැමරුම් කරන්නෙත් (හැබැයි වෙනම රටක් වෙනුවෙන් ඉල්ලීම් කරන කරොත්නං මේ හුරතල් නෑ!). පොඩ්ඩක් හිතලා බලන්නකෝ- ඇමරිකාවට විරුද්දව වෙනම රටක් ඉල්ලලා සටන් කරපු සොල්දාදුවෝ - සාධාරණ හේතුවකටත් නෙවේ - වහල්සේවය තියාගන්නයි කියලයි සටන් කරපු සොල්දාදුවෝ. හැබැයි සිවිල් යුද්දෙන් පස්සෙ හමුදාවෙයි, විප්ලවකාරයයොයි එකට - ඇමරිකන් මිනිස්සු විදිහට සමරන්න ඒ මිනිස්සු කටයුතු කරලා තියෙනවා (මේ ගැන උනන්දු කෙනෙක්ට වැඩි විස්තර බලන්න පුළුවන් මෙතනින්. හැබැයි මේකට විරුද්ද මිනිස්සුත් ඉන්නබව කියන්න ඕන).

දැන් මෙච්චර දිග හෑල්ලක් ලිව්වෙ පොඩි කාරණයක් කියන්නයි. මේ ලියපු සිවිල් යුද්දෙයි ලංකාවේ තිබ්බ යුද්දෙයි අතර සමානකම් ගොඩක් තියෙනවා. එකක් මේ යුද්ධ දෙකම වෙනම රටක් ඉල්ලලා ප්‍රාදේශීයව වෙච්ච ගැටුම්. මේ යුද්ධ දෙකේදිම පැවතිච්ච රජය දිනලා අනෙක් පැත්තෙ සෙබලු යටත් වුනා. යුද්ද දෙකේම සෑහෙන ගාණක් මැරිලා මිනිස්සු අවතැන් වුනා. යුද්දෙන් පස්සෙත් ඇමරිකාවේ වහල්සේවය ගැන මතය පරාද උනේ නෑ වගේම ලංකාවේ අදටත් බෙදුම්වාදී මතය පරාදවෙලා නෑ කියන එකත් ඇත්තක්. කොන්ෆෙඩරේෂන් භටයෝ මිනිස්සුන්ට කොන්දක් තියන් පෙනී ඉන්න බැරි වහල් සේවය වෙනුවෙන් පෙනී හිටියා - ඒ වගේම එල්.ටී.ටී.ඊ භටයෝ ළමා සොල්දාදුවෝ, මරාගැන මැරෙන බෝම්බකරුවෝ වගේ දේවල් ක්‍රියාත්මකත් කරා. කොන්ෆෙඩරේෂනය පරාද කරපු එක හොද දෙයක් වගේම එල්.ටී.ටී.ඊ ය පරාද කරපු එකත් කල යුතුව තිබුණු හොඳ දෙයක් බවයි මගේ අදහස. මෙන්න මේකයි මං අහන්නේ. ලංකාවේ යුද්දෙන් මියගියපු සොල්දාදුවන් බේදයක් නැතුව- ලංකා ධජයෙන් සමරන්න තරන් දියුණු දැක්මක් සිංහල-දෙමළ මිනිස්සුන්ට කවදා හරි ඇතිවෙයිද?  ඇමරිකාව ඒ දේවල් කරපු හින්දා, මේ ප්‍රශ්නෙන් අවුරුදු 150ට පස්සෙත් එක රටක් විදිහට ශක්තිමත්ව ඉන්නවා. අපිට ඇමරිකාව කරපු හැම දේම ඒවිදිහටම කරන එක ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. නමුත් අවුරුදු ගාණක් රටක් විදිහට ශක්තිමත්ව ඉන්නනං ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙනගත යුතු බවනං ඇත්තක්!


(* මේ ලිපිය ලියන්න පටන් ගත්තේ මැයි 28 වෙනිදා. අද පල කරද්දි ලංකාවේ මැයි 30ත් වෙලා. අද කියලා කියන්නේ මැයි විසිඅටට බව සලකන්න)

Comments

Popular posts from this blog

බයි ටොයි ගැටුම සුරකිමු!

පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්මා නම් කිරීමත් එක්ක විපක්ෂය කැළඹීමට පත්ව ඇතිබවක් පේනවා. ඒ අතර ගෝඨාභය හා තරඟ කරන්න "දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්" දමන බව එජාපයේ රංජන් රාමනායක මහතා කියලා තියෙනවා. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් කියලා මේ කෙකර ගගා කියන්නෙ සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වයට නම්කරන්න උත්සාහ කරන බවයි. සජිත් ගෝඨාභයට තරඟයක් දෙන්න පුළුවන් බව හිතෙන්නෙ සජිත්ට ගෝඨාභයට සමාන ඡන්ද පදනමක් ඇති හින්දයි. මේ පදනම ග්‍රාමීය, අර්ධ ග්‍රාමීය සිංහල බෞද්ධ පදනමයි. ජනප්‍රිය අපේක්ෂකයෙක්ට සමාන පදනමක් ඇති වෙනත් අපේක්ෂකයෙක් නම් කරන්න එජාපය උත්සාහ කරන මුල් අවස්ථාව මෙය නෙවේ. මීට කලින් සරත් ෆොන්සේකා මහත්මා ඉදිරිපත් කරමින් කලෙත් මේ හා සමාන දෙයකුයි. මේ උපාය හින්දා කෙටිකාලීනව හෝ දිගුකාලීනව රටට හෝ එජාපයට සෙතක් නොවන බව මගේ අදහසයි. මේ වෙලාවේ ගෝඨාභයට ලොකු ඉල්ලුමක් රටේ ඇති බව ඇත්තක්. මේ ඉල්ලීම කරන්නෙ බහුතරයක් සිංහල-බෞද්ධ, ත්‍රස්තවාදයට සංවේදී, නාගරික ලස්සන ගැන සංවේදී, හොඳින් හෝ නරකින් රට ලස්සන කලයුතුයි හිතන ජනයා. ගෝඨාභය නියෝජනය කරන්නෙ මේ ඉල්ලීමයි. මේ ප්‍රවාහයට ලඟින්ම තැබිය හැකි අපේක්ෂකයා සජිත් (පාඨලීත් හොඳ ය

සකර්බර්ග් අයිය්‍ෙ, කීයක් හරි දියන්!

අද අප්‍ෙ කතාවේ කතානායකයන්ගෙන් එක්කෙනෙක් වෙච්ච අපේ හිතාදර සකර්බර්ග් අයියා (වමේ). Source: vox.com අද ලෝකෙ සමාගමකට සල්ලි වලට ගන්න අමාරුම දේ මොකක්ද කියල ඇහුවොත් මොකක් කියලද හිතන්නේ? අමුද්‍රව්‍ය? නිදහසේ භාණ්ඩ එහා මෙහා යන ලෝකෙ, සල්ලි තියෙනවනං අමුද්‍රව්‍ය කියන්නෙ ලොකු ප්‍රශ්ණයක් නෙවේ; මිනිස් ශ්‍රමය උනත් එහෙමයි. මට හිතෙන හැටියට සමාගමකට සල්ලි දීලා ගන්න අද අමාරු එකම දේ ‘තොරතුරුයි’. කෙනෙක්ට හිතෙන්න පුළුවන් තොරතුරු උනත් සල්ලි දීලා ගන්න පුළුවන්නෙ කියලා. ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියනවා. හැබැයි සල්ලි තිබ්බ පලියට ඕනම තොරතුරක් සල්ලි වලට ගන්න බෑ. සල්ලි දීලා ගන්න පුළුවන් නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු විතරයි. උදාහරණෙකට, ලංකාවෙ තියෙන මහාමාර්ග වල දිග කියන්නෙ තොරතුරක්; ලංකාවෙ කොටස් මිල දර්ශකයේ අගය කියන්නෙ තොරතුරක්. හැබැයි මේවා නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු. ඕන කෙනෙක්ට ඇවිත් බලල මැනලා ඒ දේවල් දැනගන්න පුළුවන් බාධාවක් නැතිව. සල්ලි තියෙන කෙනෙක්ට පුළුවන් කාටහරි සල්ලි දීලා මේ තොරතුරු ලබාගන්න. එතකොට සල්ලි වලට ගන්න බැරි/අමාරු තොරතුරු මොනවද? එහෙම ඒවා ගොඩක් තිබ්බට අද මම කතාකරන්නෙ ඒවා අතරින් ගන්න

විනයක් නැතිකමත් ඇණයක්

මේ ඉන්නෙ මං කියන විදිහෙ හදිස්සිකාරයෝ දෙන්නෙක්! (Image Source: cdn.merchantmaverick.com) ඉස්සර කඩේකට ගිහින් බඩුවක් ගද්දි වෙලාවකට මාර පරිප්පුවක් තමා කන්ඩ වෙන්නේ. කඩේ මුදලාලිට හරි කඩේ ඉන්න කොළුවට හරි ඕන බඩු ටික කිව්වම උන් හිතේ හැටියට ඒවා හොයනවා. කොහොම කොහොම හරි බඩු ටික එක්කහු කරගත්තම ආයෙත් පාරක් චෙක් කරලයි බඩු ටිකත් දෙන්නෙ. කොහොම හරි බඩු ටික අරන් ඉවර වෙද්දි විනාඩි විස්සක් තිහක් ගිහිල්ලා.  ඔන්න ඔහොම වාත වෙවී ඉද්දි තමා ලංකාවට සුපර්මාර්කට් ආවේ.සුපර්මාර්කට් එකේ අපිට ඕන බඩු ටික කරත්තෙට දාගෙන ආවම, ලස්සනට ඇදල ඉන්න කැෂියර් නංගි (හෝ අක්කා) කැෂියර් එකෙන් ටකස් ගාලා බිල දාලා දෙනවා. වැඩේ හරි පහසුයි. පහසුවටත් වඩා ඔව්වට මිනිස්සු යන්නේ ආතල් එකට කියලයි ජෙහාන් ලොක්කනං කියන්නෙ (ග්‍රීස්මේ ඉවසගන්න බැරිව ඒ.සී. එක හොයන් එන අයත් නැතුවම නෙවේ). මට හිතෙන්නෙ නං ආතල් එක ද්වීතීකයි කියලයි.  මිනිස්සුන්ට වෙන ලේසිය ගැන හිතලමද කොහෙද ටික කාලයක් ගියාට පස්සේ ඔව්වයින්ම බිල් ගෙවන්නත් අවස්ථාව දුන්නා. අන්තිමට, කඩේ බඩු ගත්ත ඈයොන්ට වඩා බිල් ගෙවන උදවිය වැඩිඋනා!කොහොම හරි මං කියන්න හැදුවේ සුපර්මාර්කට් එකේ කැෂියර් පෝලිම සෑහෙන්න