Skip to main content

සාර්ථක ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) එකක් වෙනුවෙනි!

IPL පන්නයේ ක්‍රිකට් තරඟාවලියක් ලංකාවේ තිබ්බා මතකද? නම SLPL. ලංකාවේ පලාත් වලට බෙදපු කණ්ඩායම් හතක් හිස් වෙච්ච ක්‍රීඩාංගන දෙකක් ඇතුලේ එකිනෙකා අතර තරඟවැදුනා. කොටින්ම කියනවනං, 2012දි තිබ්බ SLPL ෆේල් ප්‍රොජෙක්ට් එකක්. ඔන්න මේ අවුරුද්දේ අළුතින් ඒ වගේ තරඟාවලියක් පටන් ගන්නවලු - LPL. ඊයේ පෙරේදා LPL වල ප්‍රධානියා විදිහට අපි කරවුුරුත් අඳුරන රසල් ආනල්ඩ් මහත්තය පත් කරා කියලා පුවතකුත් ගියානෙ. ඉතිං, මං හිතුවා ගිය පාර හරිගිය තැන්, වැරදුනු තැන්, වැරදෙන්න පුළුවන් තැන්, කරන්න පුළුවන් දේවල් ගැන කතා කරන්න මේක හොඳ වෙලාවක් කියලා.



Source: daily1st.com

පට්ට වැඩක්

මුලින් කියන්න ඕන හරියට කරගන්න බැරිඋනත් SLPL කියන්නේ හොඳ අදහසක්. ඒකාලේ ලෝකේ ක්‍රිකට් බෝඩ් ගණනාවක් මෙහෙම දේකය අතගහන්න හිතන්නත් කලින් අපි මේ දේ කලා. අවාසනාවකට වැඩේ හිතපු තරන් හරිගියේ නෑ. ඒත් අවුරුදු හයකට පස්සේ මේවගේ දේශීය තරඟවල වැදගත්කම හැමෝටම පේන්න තියෙනවා. බංග්ලාදේශ්, ඉන්දියන් දෙවනිපෙළ ක්‍රීඩකයන්ට T20 තරඟවල පලපුරුද්ද අපේ මුල්පෙලේ ක්‍රීඩකයන්ට වඩා තියෙන බව දැන් දැන් පේනවා. අනික SLPL කියන්නේ ක්‍රීඩකයන් ගොඩක් මතුවුනු තරඟාවලියක් - දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මුණවීර, අකිල ධනංජය වගේ අය මතුවුනේ මේ හරහා බව මගේ මතකයයි.

පලාත් ගොඩයි - ග්‍රවුන්ඩ් දෙකයි!


මුලින්ම කියන්න ඕන ඉන්දියාවේ හෝ වෙනත් රටක් තරම් පලාත්-වාදයක් ලංකාවේ නැති වග. උතුරේ ගොඩක් ඉන්නේ දෙමළ මිනිස්සු. නැගෙනහිර කියන්නෙ කලවමක්. ඒ හැරුණු කොට රටේ අනික් හැමතනෙකම බහුතරය සිංහල. ඒ අය අතරේ ප්‍රාදේශීයවාදය එච්චර නෑ. උදාරහණෙකට ඉන්දියාවෙ තත්වේ මීට වෙනස්. ඉන්දියාවේ ප්‍රාන්ත අතරේ සෑහෙන්න සංස්කෘතිමය වෙනස්කම් තියෙනවා. ඉතිං ඒ වගේ තැනක ප්‍රදේශ අතර ක්‍රිකට් තරඟයක් කියන දේ මාකට් කරන්න පුළුවන්. ලංකාවේ ඕක කරන්න අමාරුයි. 

IPL පන්නයේ තරඟාවලියක් සාර්ථක වෙන්නේ කොහොමද? පළාත්වලට කණ්ඩායම් බෙදුවම, ඒ පලාත්වල මිනිස්සුන්ට හැඟීමක් එන්න ඕන . "මෙන්න අපේ ටීම් එක" කියලා. එහෙම උනොත් තමා මිනිස්සු උනන්දුවෙන් මැච් බලන්නේ - මැච් එකකට ටිකට් එකක් දීලා ඇවිත් බලන්නේ. හොඳම උදාහරණය මහනුවර රගර් සමාජය (KandySC). නුවර රගර් මැච් එකක් බලන්න නුවර කට්ටිය යන්නේ මාර ගැම්මකින්.  ඒකට හේතුව රගර් ක්‍රීඩාංගනය නුවර පිහිටා තිබීමත්, නුවර පාසල් වල ජනප්‍රිය රගර් ක්‍රීඩකයන් කණ්ඩායමේ ඉඳීමත්. මේ දේ SLPL වල උනේ නැහැ.

SLPL තරඟ තිබ්බේ පල්ලෙකැලේ හා ඛෙත්තාරාමේ විතරයි. මේක ප්‍රාදේශිය රසිකයන් පිරිසක් බිහිකරගන්න ලොකු බාධයකයක් වුනා. මැච් වලට සෙනඟ නැතිවෙන්න හේතුවත් මේක වෙන්න ඇති.වයඹ ටීම් එක ගහපු මැච් ටික කුරුණෑගල වෙලගෙදර ග්‍රවුන්ඩ් එකේ තිබ්බනං, වයඹට සෑහෙන සහයෝගයක් ඒ ප්‍රදේශයෙන් හම්බවෙන්න තිබ්බා. දකුණෙ මැච් ටික ගාල්ලේ තිබ්බානං ග්‍රවුන්ඩ්  (හෝ ගාලු කොටුව) එක පිරෙන්න මිනිස්සු එන්න තිබ්බා. ඇත්තටම, මෝදර හරි තොටළඟ හරි මිනිහෙක්ට ඛෙත්තාරාමේ උතුරයි දකුණයි ගහන මැච් එකක් බලන්න හේතුවක් නෑනේ (ඒ උනත් ඒ කාලේ ඇම්මට මම ඛෙත්තාරාමේ ගියා ඔය මැච් බලන්නත්!).


ක්‍රීඩකයෝ පැරෂූට් කිරිම..


දෙවෙනි දේ තමා ක්‍රීඩකයන් තෝරලා හිටපු විදිහ. IPL වල කණ්ඩායම් වලට ක්‍රීඩකයන් බෙදන්නේ වෙන්දේසියකින්. පළවෙනි IPL එකේ නගර නියෝජනය කරන්න Iconic Playersලා එක්කෙනා ගානේ දැම්ම වෙන්දේසි නොකර. තෙන්ඩුල්කාර් මුම්බායි ඉන්දියන්සි ගියේ එහෙමයි. ඉතිං අපිත් ඕකම කරා. සංගක්කාරව දැම්ම කඳුරටට මාලිංගව දැම්මා රුහුණට. අනික් අය හෝල්සේල් දැම්මා. ඔයි ක්‍රමය ඉන්දියාවට හරිගියාට අපිට හරිගියේ නෑ. ප්‍රාදේශියවාදයක් තියෙන ඉන්දියාවට ඕනේ තමන්ගේ ප්‍රාන්තෙ දිනවන්න ශක්තිමත් කණ්ඩායමක්. ඒත් ලංකාවේ, තරඟකාරී හැඟීමක් ප්‍රේක්ෂකයගේ හිතේ හදන්නත් වෙන්නේ කණ්ඩායමටමයි. ඒක කරන්න පුළුවන් හොඳම විදිහ අදාල ප්‍රදේශයේ ක්‍රීඩකයන් වැඩිපුර ඒ අදාල ප්‍රදේශයට එන විදිහේ ක්‍රමයක් සකස් කිරීමයි.

උපුල් තරංග, ධනංජය සිල්වා, ලසිත් මාලිංග රුහුණෙ කණ්ඩායමක එකට සෙල්ලම් කරද්දි ගාල්ලේ-මාතර අයට, රිච්මන්ඩ්-මහින්දේ හා අවට පාසල් වල අයට කණ්ඩායම ගැන හැඟීමක් ඇතිවන්න ඒක හේතුවක් වෙන්නේ නැද්ද? කපුගෙදර, දික්වැල්ල, කෝසල කුලසේකර කඳුරටට සෙල්ලම් කරද්දි නුවර මිනිස්සුන්ට, ධර්මරාජ-ත්‍රිත්ව-විද්‍යාර්ථ හා අවට පාසල් වල අයට, ඒ කණ්ඩායම ගැන හැඟිමක් ඇතිවෙන්නේ නැද්ද? මගේ යොජනාව මේකයි. Iconic playerට අමතරව, තරඟයක් වෙනුවෙන් ඉදිරිපත්වෙන් කණ්ඩායමට ප්‍රාදේශීය ක්‍රීඩකයන් තුන්දෙනෙක්වත් අවමයෙන් ඉන්න ඕන කියලා නීතියක් ගේන්න පුළුවන්. ඇත්තටම මේ දේ කලොත්, පලාත්වල ඉන්න මතුනොවුනු ක්‍රීඩකයකන්ට වැඩි අවස්ථාවක් ලැබෙන එකත් ඉබේම වෙනවා.


ප්‍රොමෝෂන් ප්‍රොමෝෂන් ප්‍රොමෝෂන්!

මේක ඉතං අමුතුවෙන කියන්න දෙයක් නෙවේනේ. රටේ ඕනම භාණ්ඩයක් වගේම LPL කියන්නෙත් විනෝදාස්වාදය විකිණීමක්. ඉතිං මේ වගේ දෙයක් විකුණන්න සෑහෙන්න මාකටින් කරන්න වෙනවා. මට හිතුන විදිහට ගිය පාර මාකටින් මාර දුර්වලය. ක්‍රිකට් උන්මාදයක් තියෙන් ඉන්දියාවේ පවා IPL විකුණන්න සෑහෙන්න මාකට් කිරීමක් කරනවා. ඉතිං ලංකාවේ ඈයෝ "ඕං අපි කොරා. බලන උන් ඇවිත් බලන එකයි ඇත්තේ" වගේ මානසිකත්වයකින් වැඩක් කරා කියලා, වැඩේ විකිණෙන්නේ නෑ. ඉතිං මේ පාරවත් වැඩේ හරියට මාකට් කරයි කියලා හිතමු!

හරි විදෙස් ක්‍රීඩකයෝ ගෙන්නමු!

ගියපාර විදෙස් ක්‍රීඩකයෝ සෑහෙන්න ගණනක් ආවත්, යම් නමක් තියෙන අය ආවේ පාකිස්ථානෙන් විතරයි (මේ පාර ඒකටත් කෙලවෙන පොටක් තමා තියෙන්නේ). අපි ගෙවන ගානත් එක්ක නමක් තියෙන විදෙස් ක්‍රීඩකයෝ ගෙන්නන්න ඇත්තටම අමාරුයි. නමුත් මේ ගැන මීට වඩා උපායශීලී වෙන්න පුළුවන්. අපේ රට පිහිටල තියෙන තැනත් එක්ක අපිට ලොකු වාසියක් තියෙනවා. අපේ රෑ අට කියන්නේ මුළු දකුණු ආසියාවටම රෑ අට. ඒ කියන්නේ ලෝකෙම ඉන්න හොඳම ක්‍රිකට් පිස්සො ටීවී ඉස්සරහ වාඩි වෙන වෙලාව. ඉතිං අපේ රටේ තරඟාවලියේ ඒ රටවල් වල ක්‍රීඩකයො වැඩිපුර ඉන්නවනං, අපේ තරඟ උන් බලන්න තියෙන හැකියාව වැඩියි නේද? ඒ හින්දා ඔස්ට්‍රේලියන් බී කණ්ඩායම් ක්‍රීඩකයන් ගෙන්නගන්න හදන වෙලාවේ පකිස්ථාන්, බංගලිදේශ් හා ඇෆ්ගන් ක්‍රීඩකයෝ වැඩියෙන් ගෙන්නගත්තොත් LPL ඒ රටවල් වලට විකුණගන්න තියෙන හැකියාව තවත් වැඩි වෙයි.

ලෙජන්ඩ්ස් නෝ මෝර්!


මේ පාර තරඟාවලිය ගැන මට තියෙන ලොකුම ප්‍රශ්නකාරී තැන තමයි "නමගිය" ක්‍රීඩකයන්ගේ මදිකම. ගිය පාර තරඟාවලියේ මහේල, සංගක්කාර, ඩිල්ෂාන්, මාලිංග, ජයසූරිය, මැතිව්ස් වගේ නම ගියපු ක්‍රීඩකයෝ සෑහෙන දෙනෙක් හිටියා. මේපාර වෙද්දී ලංකාවේ ක්‍රිකට් ජාත්‍යන්තර මට්ටමේ අබලන් තත්වෙක ඉන්නේ. ඉතිං අච්චර හොඳ ක්‍රීඩකයෝ ඉද්දිවත් මැච් බලන්න නාපු සෙනඟ මේ පාර එයිද කියන සැකය තියෙනවා. ඒ කියලා ඉතිං අපිට කරන්න වෙනදෙයකුත් නෑනේ. පුළුවන් විදිහට කරන්න තමා තියෙන්නේ. ඇත්තෙන්ම අවුරුදු හයක් යනකන් මේ දේ නොකලේ ඇයි කියන එකනං ලොකු ගැටළුවක්.


ඒෂියන් ප්‍රිමියර් ලීග්?

මේක කාලයක් තිස්සේ හිතේ තිබ්බ අදහසක්. ඔන්න අද ලියලා දානවා. දැන් ලෝකෙම බලවත් ක්‍රිකට් තරඟාවලිය IPL. සෑහෙන්න ප්‍රේකෂකයන් ගාණක් ඉන්නවා. සෑහෙන්න ලොකු සල්ලියක් තියෙනවා. ඕකත් එක්ක තරඟකරන්න බෑ අපිට. හොඳම අය ඕකට ගියාම අපිට හම්බෙන්නේ රොඩු බොඩු විතරයි. ඉතිං ඇයි හත්වලාමේ අපි තනි තනියෙන් ලීග් තිය තිය නැහෙන්නේ? අපිට බැයිද පකිස්ථානේයි, බංගලිදේශෙයි එක්කහුකරන් එක ලීග් එකක් කරන්න? ඔය රටවල් තුන එකතුකරගත්තම සෑහෙන්න ලොකු මාකට් එකක්. ක්‍රීඩකයන්ගේ ගුණාත්මකතාවත් ගොඩක් වැඩියි. වැඩේ හරියට උනොත් IPL මට්ටමට කරන්න බැරිවෙන එකකුත් නෑ. ඕන් මගේ යෝජනාව. පුළුවන් කෙනෙක් ඉන්නවනං ක්‍රිකට් ආයතනයේ මහත්තයෙක්ට දාලා බලන්නකෝ අදහස!

කොහොමෙන් හරි ගිය පාර වැරදි හදන් සාර්ථක LPL එකක් කරන්න පුළුවන් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. සාර්ථක LPL එකකට තවත් අදහස් තියෙනවනං පල්ලෙහයින් කොටාගෙන යමු. ජයවේවා!


Comments

Popular posts from this blog

රැග්කිරීම ලෝකයට ගෙනියමු!

පහුගිය දා කට්ටාකාඩුවේ ලොකු අයියයි යකා අඩවියේ  යකා මහත්තයයි රැග් සීසන් එක ගැන ලිපි දෙකක් ලියලා තිබ්බා දැක්කම මටත් හිතුනා ඒ ගැන වචනයක් දෙකක් ලියන්න. ලංකාවේ කැම්පස් වල මුල් දවස්ටිකේ වෙන දවස්වලට වඩා වෙනස් කටයුතු කීපයක් වෙනබව කට්ටියම දන්නවනෙ. ඕකට සමහරු කියනවා රැග් එක කියලා. ඔව්වා කාපුඅය ඒකට කියන්නෙ “ශිෂ්‍ය අනුගතකරණය” කියලා. ශිෂ්‍ය සංගංවල මහත්තුරුනං කියන්නෙ එහෙම දෙයක් නෑ කියලයි. එක එක අය එක එක නම් කියන හින්දා, මේ ලිපිය ඇතුලේ ඔය සංසිද්ධිය “වාතවීම” කියල හදුන්වමුකො. මුලින්ම කියන්න ඕන මේක ලියන මමනං ඔය සංසිද්ධිය අත්දැකලා නැති බව. ඒ හින්දා මේ ලියමනේ වැරැද්දක් අඩුපාඩුවක් දැක්කොත් වාත වුනු ඇත්තො පෙන්නලා දෙන්න ඕන හරිය? 

දැන් ඔය වාතවීම වාත වෙනකාලෙදිනන් පට්ට වාතයක් කියල හිතුනට, පස්සෙ කාලෙකදී ඒ අයට ඒ ගැන ලොකු අවුලක් නැතිපාටක් තමා පේන්නෙ. බොරුනං වාතවුනු කෙනෙක්ගෙන අහල බලන්නකො. මම ඇහුවමනං ඒ අය කියන්නෙම ඒක මාර අත්දැකීමක් කියලයි. සමහරු (මේ සමහරු කියලා කිව්වෙ වටින් බලන් ඉදලා පණ්ඩිතකම් කියන උදවිය) කියනවා වාතවුනාට පස්සෙ වාතෙ වාතයි කියල පිලිගන්න ලැජ්ජා හින්දා කට්ටිය බොරු කියනවා කියලා. සමහරු කියනවා වාත වෙන අය වාත…

ඉස්සරහට රස්සාවට ගහල යයිද?

2008 දි විතර ලංකාවට ආවා මචං කියලා ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ හිටියා සුරේෂ් කියලා දෙමළ කොල්ලෙක්. මේ කොල්ලගේ මාමා කොළඹ හෝටලේක රස්සාවක් කරනවා. රස්සාව තමා ටොයිලට් එකට එන මිනිස්සුන්ට අත පිහින කොල කෑල්ලක් කඩල දෙන එක. ෆිල්ම් එකේ අන්තිමට, හෝටලේට එනවා අතපිහින කොල නිකුත් කරන මැෂින් එකක්. ඒ හින්දා මේ මනුස්සයගේ රස්සාව ගහල යනවා. අන්තිමේ ෆිල්ම් එකේ හැටියට මේවග දැනගත්ත ආවේගෙට සුරේෂ් මේ මැෂිම කඩලා දානවා.

මචං එකේ මේ සිද්ධිය අද මගේ ලිපියට පිවිසුමක් විදිහට ගන්නේ විශේෂ හේතුවකට. මෑත ඉතිහාසය පුරාවට විද්‍යාවේ දියුණුවත් එක්ක නොයෙක් රස්සාවල් තාක්ෂණය විසින් ඩැහැගෙන තියෙනවා. නමුත් මෙච්චරකල් ඒ විදිහට නැතිවුනේ ශ්‍රමය මූලික වුනු රස්සාවල්. උදාහරණෙකට කුඹුරක වැඩ කරපු හතර-පස් දෙනෙකුගේ රස්සාව ට්‍රැක්ටරය අත්කරන් තියෙනවා; දෙතුන් දෙනෙක් එකතු වෙලා කරපු ඇඳුම් මැසීම මහන මැසිම නිසා එක්කෙනෙකුට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වුනත් මානසික හැකියාවන් මත පදනම් වුන රස්සාවල් වලට - ලිපිකරුවන්, සංගීතකරුවන්, ගුරුවරු, ඉංජිනේරුවන් -  මේ දියුණුව මෙතෙක් ගැටළුවක් වුනේ නැහැ.

හැබැයි තාක්ෂණයේ (විශේෂයෙන් කෘතීම බුද්ධියේ -Artificial Intelligenc…

විනයක් නැතිකමත් ඇණයක්

ඉස්සර කඩේකට ගිහින් බඩුවක් ගද්දි වෙලාවකට මාර පරිප්පුවක් තමා කන්ඩ වෙන්නේ. කඩේ මුදලාලිට හරි කඩේ ඉන්න කොළුවට හරි ඕන බඩු ටික කිව්වම උන් හිතේ හැටියට ඒවා හොයනවා. කොහොම කොහොම හරි බඩු ටික එක්කහු කරගත්තම ආයෙත් පාරක් චෙක් කරලයි බඩු ටිකත් දෙන්නෙ. කොහොම හරි බඩු ටික අරන් ඉවර වෙද්දි විනාඩි විස්සක් තිහක් ගිහිල්ලා. 

ඔන්න ඔහොම වාත වෙවී ඉද්දි තමා ලංකාවට සුපර්මාර්කට් ආවේ.සුපර්මාර්කට් එකේ අපිට ඕන බඩු ටික කරත්තෙට දාගෙන ආවම, ලස්සනට ඇදල ඉන්න කැෂියර් නංගි (හෝ අක්කා) කැෂියර් එකෙන් ටකස් ගාලා බිල දාලා දෙනවා. වැඩේ හරි පහසුයි. පහසුවටත් වඩා ඔව්වට මිනිස්සු යන්නේ ආතල් එකට කියලයි ජෙහාන් ලොක්කනං කියන්නෙ (ග්‍රීස්මේ ඉවසගන්න බැරිව ඒ.සී. එක හොයන් එන අයත් නැතුවම නෙවේ). මට හිතෙන්නෙ නං ආතල් එක ද්වීතීකයි කියලයි.  මිනිස්සුන්ට වෙන ලේසිය ගැන හිතලමද කොහෙද ටික කාලයක් ගියාට පස්සේ ඔව්වයින්ම බිල් ගෙවන්නත් අවස්ථාව දුන්නා. අන්තිමට, කඩේ බඩු ගත්ත ඈයොන්ට වඩා බිල් ගෙවන උදවිය වැඩිඋනා!කොහොම හරි මං කියන්න හැදුවේ සුපර්මාර්කට් එකේ කැෂියර් පෝලිම සෑහෙන්න දිගයි ඕං.

අන්තිමේ නිකං කඩෙන් බඩුගන්න වෙලායනවා කියලා සුපර්මාර්කට් ගියපු උදවිය සුපර්මාර්කට් පෝලිමේ…